uthuwan-kanda

ඉහල කෝට්ටේ (උඩරට) සිට රඹුක්කන (පහතරට) දක්වා..

9
View of Uthuwan Kanda from Ihala Kotte

59 සැතපුම් කණුව අසලින් පෙනෙන උතුවන් කන්ද

මාස තුනක විතර නිශ්ශබ්දතාවයකින් පස්සෙ ආපහු රේල් පාර පැත්තට බහින්නයි කල්පනා කලේ. මෙදා සැරේ තෝරගත්තෙ ටිකක් ලඟ පලාතක්. ඒ ඉහල කෝට්ටෙ ඉඳන් රඹුක්කනට. ඉහල කෝට්ටෙ කියන්නෙ බස් මාර්ගයෙන් කිලෝ මීටර් තුනක් විතර ඇතුලට වෙන්න තියෙන ගමක්. (කොළඹ සිට) කෝච්චියෙන් යනව නම් දුම්රිය ස්ථාන පිහිටල තියෙන්නෙ මේ විදියට රඹුක්කන -> කඩිගමුව -> ගංගොඩ -> ඉහල කෝට්ටේ -> බලන -> කඩුගන්නාව විදිහටයි. බස් එකෙන් යනව නම් මාවනැල්ලෙන් බැහැලා ආපහු රඹුක්කන බස් එකේ ඇවිත්, “හතේ කණුව” කියන හෝල්ට් එකෙන් බැහැලා, කිලෝමීටර් තුනක් විතර පයින් යන්න ඕනෙ. මොකද ඉහල කෝට්ටෙ (කලින් හඳුන්වල තියෙන්නෙ ‘අලගල්ල’ කියලා) කියන්නෙ දුම්රිය මාර්ගය හදපු නිසා හැදුන ගමක්. අවුරුදු ගානක් යනකන් පිටින් එන්න පාරක් තිබිල නැහැ. දුම්රිය තමයි එකම ප්‍රවාහන මාධ්‍යය විදිහට තිබිලා තියෙන්නෙ.

කොහොම හරි මේ පාර ගමනට එකතු උන පිරිස තමයි (පොලු තියපු අය හැර) මම, මිස්ටර් වික්ස් (කෝච්චියා™), ප්‍රභාත් දර්ශන (පොඩි මහතා), මිලුශ් රන්දිම (සෝරෝ), චතුරංග බණ්ඩාර (ළමයා™), ගයත්‍රි අනුරාධා (ප්‍රභාත්ගෙ බැචියෙක්) සහ ශානක දෙල්ගොඩ (දෙලා). දෙලා ඇරෙන්න අනිත් කට්ටිය කෝච්චියෙන් ඇවිත් සෙට් උනා ඉහල කෝට්ටෙ දුම්රිය ස්ථානයට. කට්ටිය හිමින් හිමින් පල්ලම් බැස්සා මියන්ගල්ල බිංගෙය පැත්තට. දෙලා ආවෙ පැය එකහමාරකට විතර පස්සෙ, හෙලිකොප්පරෙන්..!

ඉහල කෝට්ටෙ දුම්රිය ස්ථානයෙ ඉඳන් කිලෝමීටරයකටත් අඩු දුරකින් තමයි ‘මියන්ගල්ල’ බිංගෙය පිහිටල තියෙන්නෙ. ඒක තමයි ලංකාවෙ දැනට දෙවෙනි දිගම බිංගෙය. (පළවෙනි එක හැටන් – සිංගිමලේ බිංගෙය). තවත් විශේෂත්වයක් තමයි මේකෙ අංකය “5A”. සාමාන්‍යයෙන් බිංගෙවල් අංක කරල තියෙන්නෙ කලින් සැලසුම් කරලා හදපු පිළිවෙලට. නමුත් “A” කියල තියෙන බිංගෙවල් එහෙම කලින් සැලසුම් කරන්නෙ නැතුව, පසු අවශ්‍යතා නිසා හදපුවා. අංක 5ට පස්සෙ අංක 6 හදලා, පහයි හයයි මැදට වෙන අංකයක් දාන්න බැරි නිසා තමයි 5A කියල නම් කරල තියෙන්නෙ.
ඉස්සර මෙතන බිංගෙයක් තිබිල නැහැ. ඒ වෙන්වට තිබිල තියෙන්නෙ කලුගලේ කැපුමක් ඇති කරල හදාගත්ත පාරක්. ඒ කාලෙ මෙතන හඳුන්වල තියෙන්නෙ මියන්ගල්ල දුර්ගය (Meengalla Pass) කියලා. ඒත් මෙතන නඩත්තුවට හරිම අමාරු තැනක් වුනාලු පස්සෙ. නිතරම දුම්රිය මාර්ගයෙ විවිධ දෝශත් හටගත්තලු. මෙතනින් කෝච්චියන් පහතට (උඩරට සිට පහතරටට) පෙරලිලාත් තියෙන බව තිලක් සේනසිංහ මහතා එතුමගෙ බ්ලොග් සටහනක සටහන් කරල තියෙනවා.

Miyangalla Pass මියන්ගල්ල දුර්ගය | Miyangalla Pass

කෝච්චියක් පහතට පෙරලුන කතාව ගැන කිසිම සටහනක් දුම්රිය දෙපාර්තමේන්තුවේ වාර්තා වල නැති වුනත්, පෙරලුන බව පිළිගන්න පුළුවන්. මොකද ඒ හරිය ගොඩක් අවධානම් කලාපයක් බව ඒ අවට නැරඹීමෙන් තේරුම් ගන්න පුළුවන් නිසා. තවමත් එදා ටැබ්ලට් සංඥා රැහැන් අදින්න භාවිතා කරපු කණු දකින්න පුළුවන්. එදා මාර්ගයෙන් දැනට ඉතුරු වෙලා තියෙන්නෙ රේල් පීල් කිහිපයක එකතුවෙන් දිය ඇල්ල උඩින් හදපු පාලමක් විතරයි. ඒ පැත්තෙ ජීවත් වෙන ප්‍රදේශවාසීන් යන එන අඩිපාරක් තිබුන නිසා බිංගෙයි ඒ කොනේ සිට අනිත් කොනට බිංගෙයට පිටින් අපිට පහසුවෙන් යන්න පුළුවන් උනා. නමුත් එය තරමක් අවධානම් මාර්ගයක්. පුංචි අතපසුවීමක් හරි වෙලා ලිස්සුවොත්, නවතින්න වෙන්නෙ පහතරට තමයි.

Miyangalla Pass

ටිකකින්, උඩහට කෝච්චියක් එන සද්දයක් ඇහිලා කට්ටියම ආපහු බිංගෙය පටන් ගන්න තැනට දුවගෙන ගියා. කොළඹින් 7.00ට ගමන් ආරම්භ කරන කොළඹ-නුවර නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය තමයි එන්නෙ. මිස්ටර් වික්ස් තමන්ගෙ කැමරාව පරදුවට තියන්න ඉදිරිපත් උනා මෙතනදි. පුංචි tripod එකක් ආධාරයෙන් කැමරාව රේල් පාර මැද ඇටෙවුවා. ටිකකින් M6-788 එන්ජිම, ඉන්ටසිටිය ඇදගෙන නුවර ගියා. මෙන්න කෝච්චියා විසින් කැමරාව පරදුවට තියලා ගත්ත වීඩියෝ එක.

Udarata Manike with M9 @ Gangoda

Click to Zoom

ඉන්ටර්සිටියත් ගියාට පස්සෙ කට්ටියම උදේට අරන් ගිය කෑම ටික අනුභව කරලා පහලට ගමන පටන් ගත්තා. කිලෝ මීටර් දෙකක් විතර ගියහම හම්බවෙනවා ඉහල කෝට්ටෙට මෙහා දුම්රිය ස්ථානය වන ගංගොඩ (උප) දුම්රිය ස්ථානය. ගංගොඩදි උඩහට යන උඩරට මැණිකේ දුම්රිය කැමරාවට හසුකරගන්නත් අපිට පුළුවන් වුනා. නමුත් පුංචි අවුලක් ! M9 වර්ගයේ එන්ජින් නාවලපිටියෙන් ඔබ්බට යවන්නේ නැහැ. මොකද නාවලපිටියෙන් එහාට තියන තියුණු වංගු වලින් මෙම එංජිමට ගමන් කරන්න අපහසුයි. එදා මොකක් හරි එන්ජින් හිඟතාවක් නිසා M9 එකක් අතරමගට (පේරාදෙණියට හෝ නාවලපිටියට) උඩරට මැණිකේ ඇදගෙන ගියා විය යුතුයි.

ගංගොඩ පහු කරලා තවත් ටිකක් දුර යනකොට හම්බ වෙනවා ‘යටිවල්දෙණිය’ කියන දුම්රිය නැවතුම. ප්‍රධාන දුම්රිය එකක් වත් මෙතන නවත්තන්නෙ නැහැ. දවසටම කෙටි දුර මිශ්‍ර දුම්රිය හතරක් විතරයි මෙතන නවත්තන්නෙ. යටිවල්දෙණිය ඉදන් තවත් කිලෝමීටර් එකහමාරක්, දෙකක් විතර යනකොට හම්බ වෙනවා කඩිගමුව දුම්රිය ස්ථානය. කඩිගමුව දුම්රිය ස්ථානය තමයි උඩරට මාර්ගයෙ ඉස්සෙල්ලම හම්බ වෙන දුම්රිය ස්ථානය. වෙනත් දුම්රිය ස්ථාන වල දකින්න නැති “Speed Detector” එකක් කඩිගමුව සංඥා කුටියෙ දකින්න පුළුවන්. ඒ උඩහ ඉඳන් පහලට පාලනයක් නැතුව එන දුම්රිය ගැන දැනගෙන, පහලට යන්න නොදී නවත්වාගන්න කටයුතු කරන්න පහසු වෙන්න. මේක මෙතන සවි කරන්න, 2002දී 13කට මරු කැඳවමින්, විශාල පිරිසකට තුවාල සිදුකරමින් කොළඹ-නුවර නගරාන්තර දුම්රිය කඩිගමුව හා රඹුක්කන අතර සිදුවූ අනතුර හේතු වූවා වෙන්න පුළුවන්.

Kadigamuwa Signal Cabin

කඩිගමුවත් පහු කරගෙන කිලෝමීටර් කිහිපයක් ගියාට අංක 4, 3 සහ 2 බිංගෙවල් වලට කලින් තියෙනව ටිකක් විශේෂ බෝක්කුවක්. ඒ තමයි කැබැල්ලවත්ත බෝක්කුව.

Kebellawatta Bokkuwa

කැබැල්ලවත්ත බෝක්කුවට ඒ නම වැටුන විදිහ නම් දන්නෙ නැහැ. නමුත් ජ.වි.පෙ (JVP) කලබල කාලෙ උඩරටට දුම්රිය යන එක වලක්වන්න කියලා ජවිපෙන් පාලම පුපුරවන්න කියලා බෝම්බයක් ඇටෙවුවාලු. සැලසුම් කරපු විදිහට බෝම්බය පුපුරලා ගියත්, දුම්රිය මාර්ගයට කෙස් ගහක වත් හානියක් උනේ නැතිලු. සිදුවුන එකම හානිය බෝක්කුවේ යට පුංචි සිදුරක් හැදුන එක විතරලු. වහල දාපු එම සිදුරේ සිමෙන්ති පාර තවමත් බෝක්කුව යටට ගියොත් බලාගන්න පුළුවන්.

බෝක්කුවත් පහු කරගෙන රඹුක්කනට කිට්ටු වෙනකොට උඩහට ‘උඩරට මැණිකේ’ ඇදගෙන ගිය M9 එන්ජිම පහලට එන ‘උඩරට මැණිකේ’වත් ඇදගෙන කොළඹ පැත්තට ගියා අපිව පහුකරගෙන. රඹුක්කනට අපි එනවා ඈත තියා බලන් හිටපු සංඥා කුටියේ මහතෙක් (පොඩි මහත්තයා අඳුරන කෙනෙක්) අපිට සංඥා කුටිය බලන්න ඉඩ දුන්නා. අපේ වෙලාවටම කොළඹට යන නගරාන්තර දුම්රිය ඒ වෙලාවෙම රඹුක්කන පහු කරන් ගියා. ඒක නිසා දුම්රියෙ සංඥා දෙන ආකාරය හොඳහැටි බලාගන්න අපිට පුළුවන් උනා. (සංඥා කුටියට පිට අයට ඇතුලුවීම තහනම් නිසා ඇතුල්වීමට ඉඩදුන් මහතාගේ රැකියාවට තර්ජනයක් නොවන වගට සැකහැර දැනගන්නා තුරු එම ඡායාරූප කිසිවක් පලකරන්නෙ නැහැ.)
සංඥා කුටියෙන් එලියට බැහැපු අපි රඹුක්කන දුම්රිය ස්ථානයට ලඟා වුනා. මුළු ගමනේ දුර කිලෝමීටර් 14ක් විතර (උඩහට, පහලට ගිය ඔක්කොම දුර). මහන්සියටත් එක්ක රඹුක්කන දුම්රිය ස්ථානයේ ආපන ශාලාවෙන් දවල්ට කාපු අපි, නුවර ඉඳන් එන සීඝ්‍රගාමී කෝච්චියකට නැග්ගා ආපහු ගෙවල් දොරවල් බලා පිටත් වෙනන්න…..

Rambukkana

ස්තූතිය : Proof බලපු කෝච්චියාට
ප/ලි : අර M9එක ඇදගෙන ගිය උඩරට මැණිකේ එන්ජින් හුවමාරුව කරගෙන තියෙන්නෙ ගම්පොලින් ලු..

noa

පට්ටිපොල සිට නානුඔය දක්වා – II | From Pattipola to NanuOya – II

11

බදුල්ල රාත්‍රී තැපැල් දුම්රියෙන් පට්ටිපොලට ගිය අපි එළිය වැටෙනකන් ස්ටේසමේ ඉඳලා උදේම ‘සමිට් ලෙවල්‘ එකට ගිය විස්තරේ කලින් පෝස්ට් එකෙන්..

‘සමිට් ලෙවල්‘ එකෙන් ආපහු පහලට ආපු අපි ඉස්සෙල්ලම කලේ කඩේකට ගිහින් හොඳට කාපු එක. බඩපිරෙන්න කාලා ආපහු බැස්සා (රේල්) පාරට. මමයි බස්සයි හදිසි කැඳවීමක් හින්දා පට්ටිපොල ඉස්ටේසමේම ටිකක් වෙලා රැඳිලා ඉන්න අතරෙ අනිත් කට්ටිය හෙමින් සැරේ ගමන පටන් ගත්තා. ටික වෙලාවක් රැඳිලා ඉන්නකොට පහලට යන උඩරට මැණිකේ දුම්රිය පට්ටිපොලදි අල්ලගන්න පුළුවන් වුනා. මෙන්න පට්ටිපොලින් අඹේවෙලට යන්න අවසර දෙන පිංතූරෙ.

Pattipola Station

ඊට පස්සෙ අපිත් දුවල ගිහින් කට්ටියට එකතු වුනා. පට්ටිපොල ඉඳන් අඹේවෙලට රේල් පාර වැටිල තියෙන්නෙ කැරට් වතු, ලීක්ස් වතු මැදින්. අඹේවෙලට පට්ටිපොල ඉඳන් තියෙන්නෙ කිලෝමීටර් 1.8ක් වගේ පොඩි දුරක්. අඹේවෙල නගරයට කිට්ටුව රේල් පාර අයිනෙන්ම තමයි ‘හයිලන්ඩ්‘ කිරි කර්මාන්ත ශාලාව පිහිටල තියෙන්නෙත්. කර්මාන්ත ශාලාව නම් අතඇරලා දාපු එකක් වගේ බොහොම අක්‍රීය පාටින් තමයි තිබුනෙ. කොහොම හරි ‘හයිලන්ඩ්‘ කර්මාන්තශාලාවත් පහු කරගෙන කට්ටිය ලඟා වුනා අඹේවෙලට.

අඹේවෙල ඉඳන් තමයි නියම ගමන පටන් ගන්නෙ. ප්‍රධාන දුම්රිය මාර්ගයෙ දුම්රිය ස්ථාන දෙකක් අතර තියෙන වැඩිම දුර තියෙන්නෙ අඹේවෙල ඉඳන් පැරකුම්පුර උප දුම්රිය ස්ථානයට. දුම්රිය ස්ථාන දෙක අතර දුර කිලෝමීටර් 12.1ක්. උප දුම්රිය ස්ථානය නොසලකා හැරියොත්, ප්‍රධාන දුම්රිය ස්ථාන දෙකක් අතර තියෙන වැඩිම දුරත් ඒකම තමයි, ඒ අඹේවෙල ඉඳන් නානුඔයට. දුර කිලෝමීටර් 15.3ක්.

අඹේවෙල නවසීලන්ත ගොවිපොල (New Zealand Farm) එකට ගිහින් තියෙනවනම් දැකලා ඇති ජලාශයක් වගේ එකක් (ජලාශයක් කිවුවට වැවවක් වගේ) තියෙනවා අඹේවෙල ටවුමට කිට්ටුව. ඒකෙ වාන ලස්සනට බලාගන්න පුළුවන් රේල් පාරෙන් චුට්ටක් අයිනට ගියහම. කෝච්චියෙ යනගමන් බැලුවට පේන එකක් නෑ. රේල්පාර දෙපැත්තෙ තියෙන ගස් නිසා. තවත් ටිකක් දුර යනකොට හම්බ වෙනවා කොළඹ ඉඳන් 218වෙනි කිලෝමීටර් කණුව. එතන ඉඳන් දෙපැත්ත (පට්ටිපොල පැත්ත සහ නානුඔය පැත්ත) බලපුවහම දෙපැත්තෙම පාර උපරිම පේන්නෙ මීටර් සීයක් විතර. ඒ හරිය රෝලකෝස්ටර් එකක මුදුනක් වගේ කියලා තමයි තූර්යගෙ අදහස. ඇත්තටම රෝලකෝස්ටර් එකක් උඩ ඉඳන් බලනවා වගේ තමයි පේන්නෙ. කණ්ඩායමේ අනිත් අයගෙ මතය වුනේ ඒක සමිට් ලෙවල් එක වෙන්න ඇති කියලා. :D ඔන්න පස්සෙ කාලෙක සමිට් ලෙවල් එක 218km කණුව ගාවට ගෙනාවොත් credit එක අපිට හරි ;)

රෝලකෝස්ටර් එක පහු කරලා ඉදිරියට ඇදෙනකොට ඉරත් ටික ටික මුදුන් වෙනවා. ඉර මුදුන් වෙන්න ටිකකට කලින් අපි සුන්දර ඇල්ජින් ඇල්ල (Elgin Falls) හරියට ලඟාවෙන්න පුළුවන් වුනා. රේල් පාරෙන් ගිහින් ඇල්ජින් ඇල්ල පාමුලට (තියා කිට්ටුවටවත්) යන්න බැහැ. එහෙම යනවනම් මහා මාර්ගයෙන් එන්න ඕනෙ. මොකද රේල්පාරෙ ඉඳන් හෙන හෙලක තමයි ඇල්ජින් ඇල්ල පිහිටලා තියෙන්නෙ. කෝච්චියෙ ගමන් කරන කෙනෙක්ට නම් පහසුවෙන්ම ඇල්ජින් ඇල්ල හොඳින් දැකබලාගන්න පුළුවන්.

Elgin Falls - ඇල්ජින් ඇල්ල

අපි ගිය දවසෙ වැරැද්දක්ද මන්දා කර වෙන්න පායනවා. ඉර මුදුන් වුනාට පස්සෙ ඉන්න බැරි තරම් රස්නෙයි. වටපිටාව අමතක කරල රේල් පාර විතරක් ගත්තොත්, අනුරාධපුරේ පැත්තෙ රේල්පාර සහ අඹේවෙල – පැරකුම්පුර හරියෙ රේල් පාර අතර වැඩි වෙනසක් නැතුව ඇති. ඒත් ගමන නම් එපා වෙන්නෙ නෑ. කොච්ච් කර වෙන්න පෑයුවත් ගමන එපා වෙන්න දාඩිය නම් දැම්මෙ නෑ.

අඹේවෙල-නානුඹය කලාපයෙ තියෙන තවත් විශේෂත්වලක් තමයි දුම්රිය ස්ථාන දෙකක් අතර තියෙන වැඩිම දුර තිබුන වුනත් මුළු කලාපයටම එකම බිංගෙයක් වත් නැති එක. මාර්ගය වැටිල තියෙන උස ඒකෙන්ම හිතාගන්න පුළුවන්.

ඇල්ජින් ඇල්ල පහු කරලා ටිකක් දුර යන අතරෙ බදුල්ලෙ ඉඳන් පහලට ඇදෙන පොඩි මැණිකෙ දුම්රියත් අපිව පහු කරගෙන කෙලගෙන පහලට ගියා. ගිය වේගෙ බලාගන්න මේ කෝච්චියාගේ කැමරාවෙ සටහන් වුන මේ වීඩියෝ එක බලන්න

පොඩි අවුලක්! පොතේ හැටියට අපි ගෙවල් බලා පිටත් වෙන්න නම් අපි මේ පොඩිමැණිකෙ කෝච්චිය අල්ලගන්න ඕනෙ. ඒත් අපි පට්ටිපොලින් ගමන පටන් ගත්ත නිසාත්, පට්ටිපොලදි ‘සමිට් ලෙවල්‘ පැත්තට ගිය නිසාත් පොඩි මැණිකේ එන්න කලින් පැරකුම්පුරටවත් යාගන්න පුළුවන් වුනේ නැහැ. ආපහු එන විදිහ ගැන හිතන එක පැත්තකින් තියලා අපි නානුඔය පැත්තට ඇදුනා. අපි ගමන පටන් ගන්නකොට පුරවගත්තු වතුර දැන් දැන් ඉවර වේගෙනයි යන්නෙ. අහල පහලක වතුර පාරක් තියා කාණුවක් වත් පේන්න නැහැ. ඔහොම ටික ටික ඉදිරියට ඇදෙනකොට එකපාරටම හම්බ වුනා වගාවකට වතුර දාන්න හදලු වතුර පාරක්. ඒ වතුර පාරෙ මූලාශ්‍රයක් හොයාගන්නත් නෑ. නිකන්ම නිකන් වතුර පාරක් විතරයි. වෙලාවෙ හැටියට Source හෙවිල්ල පැත්තකින් තියපු අපි කලේ හිස් බෝතල් ටික ඔක්කොම පුරවගෙන බඩ පිරෙනකන් වතුර බීපු එක විතරයි. මොනව උනහම මොකද, වතුරනෙ ;)

වතුරත් බීලා හෙමින් හෙමින් ඉදිරියට ඇදෙන අපිට දවල් එකට විතර ඔන්න මුන ගැහුනා කොළඹ ඉඳන් එන පළවෙනි කෝච්චිය. ඒ කොළඹ කොටුවෙන් 5.50ට ගමන් ආරම්භ කරන පොඩි මැණිකේ කෝච්චිය. (අඹේවෙල කාලසටහනේ හැටියට එකයි හයට තමයි උඩහට එන පොඩි මැණිකේ අඹේවෙලට ලඟාවෙන්න නියමිත). උඩහට යන පොඩි මැණිකෙට අත වනාගෙන පහලට ආපු අපි තවත් පැයකින් විතර පැරකුම්පුර උප දුම්රිය ස්ථානයට ලඟා වුනා. පැරකුම්පුර ස්ටේසමට ගිය ගමන් කලේ මහන්සියට චූට්ටක් ඇහැ පියාගත්ත එක. ආපහු ඇහැ ඇරල බලනකොට පැයක් වගේ පොඩි වෙලාවක් විතරයි ගතවෙලා තිබුනෙ.

මේ වෙනකොට ඉන්දරේගෙයි, මගෙයි කකුල් ටිකක් දරුණු විදිහට ආබාධයකට ලක් වෙලා තිබුනෙ. ඒත් ආපු ගමන සම්පූර්ණ කරල දාන්න කට්ටියම පැරකුම්පුර උප දුම්රිය ස්ථානයෙන් පිටත්වුනේ නානුඹයට හවස 5ට විතර ලඟාවෙන හැටන් කෝච්චිය අල්ලගන්න. පැරකුම්පුර ඉඳන් ගමන කණ්ඩායම් තුනක් විදිහට තමයි ඉදිරියට ඇදුනෙ. ඒ ඉදිරිපෙල, පොඩි මහත්තයා ඇතුලු මැද පෙල සහ ආබාධිත පසුපෙල විදිහට. :D ආබාධිත තත්වයක් තිබුනෙ නැති වුනත් සෝරෝත් පසුපෙල තමයි ක්‍රීඩා කලේ. අපි හෙමින් හෙමින් ගිහින් කොළඹ ඉඳන් එන දෙවැනි කෝච්චිය වන උඩරට මැණිකේ නානුඔයෙන් පිටත් වෙල වෙලාවට නානුඔයට ලඟා වුනා. ඒ වෙනකොට කට්ටියටම හොඳ ගණන්. කකුල් නෑ වගේ හිටියෙ හැමෝම. මොකද එදා දවසට විතරක් ආසන්න වශයෙන් කිලෝ මීටර 20ක් විතර කිසිම පෙර සූදානමක් (එච්චර දුරක් ඇවිදින්න පෙර සූදානමක්) නැතුව ඇවිදපු නිසා.

NanuOya Railway Station - නානුඔය දුම්රිය ස්ථානය

කොහොම හරි 5.37ට නානුඔයට ලඟාවුන ‘ලෑල්ල‘ට කට්ටියම නැග්ගෙ හැටන් වලට යන්න. (‘ලෑල්ල‘ බදුල්ල සිට මහනුවර බලා ධාවනය වන මිශ්‍ර දුම්රියක්. මගීන්ට වෙන් කරල තියෙන්නෙ පෙට්ටි දෙකයි. දෙකම ලීයෙන් හදපු පෙට්ටි. කෝච්චිය පැද්දෙනකොට පෙට්ටි වැනෙනවා පියවි ඇහැට පේන තරම් ම). හැටන් වලින් බහිනකොට රෑ 8ට විතර ඇති. එතන ඉඳන් ශ්‍රී පාද වන්දනාව වෙනුවෙන් දාපු විශේෂ දුම්රියෙන් තමයි යන්න බලාපොරොත්තුව. ඒක හැටන් වලින් ගමන පටන් ගන්නෙ රෑ 10ට. රෑ 10 වෙනකන් රෑට කාලා, අනංමනං කර කර හිටපු අපි ‘ශ්‍රී පාද special’ එකට නැග්නෙ ගොඩක් සෙනඟ බලාපොරොත්තුවෙන්. ඒක නිසාම අපි ගත්තෙ දෙවෙනි පංතියෙ ටිකට්. ඒත් පෙට්ටියෙ අපි හිටපු බාගෙ හිටියෙ අපි කට්ටිය විතරයි. තව සෙට් එකක් ඉතුරු බාගෙ හිටියා. ඔය විදිහට තමයි දෙවෙනි පංතියෙ ඉඩ බෙදිල ගියෙ.

පැය හතරක විතර ගමනකින් පස්සේ අපි ගමනේ අවසානයට ලඟා වුනේ තවත් හයික් එකකින් හමුවෙන බලාපොරොත්තුවෙන්. තවත් හයික් එකකින් හමුවෙමු එහෙනම්..
ජය ශ්‍රී !!!

ස්තූතිය : proof බලපු තූර්ය

02_IMG_5478

පට්ටිපොල සිට නානුඔය දක්වා – I | From Pattipola to NanuOya – I

2011 අවුරුද්ද ඉවර කලේ දෙසැම්බර් 31වෙනිදා ඉඟුරුඔය ඉඳන් ගල්බොඩ දක්වා ගිය රේල් හයික් එකෙන්. 2012 අවුරුද්දෙ පළවෙනි රේල් හයික් එක විදිහට යන්න තෝරගත්තෙ අඹේවෙල ඉඳන් නානුඔයට. ගමනට කලින් දවසෙ තමයි අඹේවෙල – නානුඔය ගමන, පට්ටිපොලින් පටන් ගන්න තීරණය වුනේ. මේ ගමනේ සංවිධානය සුපුරුදු පරිදි මිස්ටර් වික්ස්. සහභාගි වුන කට්ටිය තමයි ඉන්දරේ, තූර්ය, සොරෝ, පොඩි මහත්තයා, මුදිත නොහොත් බස්සා (කැළණිය කැම්පස් එකටම ඉන්න එකම බස්සා ලු). මෙදා ගමන යන්න පටන් ගත්තෙ බදුල්ල රාත්‍රී තැපැල් දුම්රියෙන්. ඒක නිසා වෙනදට තැන් තැන් වලින් නගින කට්ටිය ඔක්කොම මේ පාර කොටුවටම ඇවිත් කෝච්චියට නගින්න කතාවුනේ. කට්ටියම කොටුවෙ ඉස්ටේසමේ “ව“යන්න යටට සෙට් වුනා. ඊට පස්සෙ කට්ටියම පට්ටිපොලට ටිකට් අරන් ගියා මරදානට. මොකට එදා සිතුරාදා දවසක් නිසා කෝච්චියට නැගිලි බොරු. යාඩ් එකේ ඉඳන් කොටුවට කෝච්චිය එන අතරෙ මරදානින් හොරෙන් එල්ලෙන්න තමයි සැලැස්ම වුනේ. මරදානට කෝච්චිය ආවා. හුටා! දොරවල් ලොක්.. හොයල හොයල ලොක් කරල තිබුනෙ නැති එක දොරක් හොයාගෙන යන්තම් ඇතුලට නැගගත්තා. (යාඩ් එකේ ඉඳන් එන කෝච්චිය මරදානෙන් අල්ලගන්න යනවනම්, දොරවල් ලොක් කරල තිබුනොත් මරදානෙ ඉන්න වෙන අවධානම ගන්න වෙනව ෂරි?)

කොටුවෙන් රාත්‍රී 8ට පෙට්ටි දොලහක් (ඇත්තටම 13ක්. පේරාදෙණියෙදි එකක් හලනවා. බදුල්ලටම යන්නෙ 12යි) අමුණගත්ත M6-792 ගමන පිටත් වුනා. ඒත් කිසිම සීඝ්‍රගාමී පාටක් නම් නැහැ. පස්සෙ පොඩි මහත්තය කිවුවෙ රාගමට යන මන්දගාමී එක කොටුවෙන් යන්න පරක්කු වුනා කියලා (කලින් යන මන්දගාමී එකෙන් තමයි රාගමට වෙනකන් අතරමග නැවතුම් වල කට්ටිය සීඝ්‍රගාමි කෝච්චියට රාගමින් සෙට් කරන්නෙ). කොහොම හරි කොට කොට රාගමට ගිය කෝච්චිය රාගමින් පස්සෙ කෙලගෙන යන්න ගත්තා. එච්චර දිග කෝච්චියක් යනවා දැකපු වැඩිම වේගෙන් තමයි එදා ගියෙ. අහෝ ඛේදයකි! ගිය වේගෙ වැඩිකමට කෝච්චිය දෙපැත්තට වැනුන නිසා පාපුවරුවෙ ගිය කෙනෙක්ගෙ කකුල අතර මග ස්ටේෂමක වේදිකාවෙ වැදිලා. පිටින් නම් හානියක් නැහැ ලු. ඒත් සපත්තුවෙ කෑලි නැතිලු. ඒ කියන්නෙ කකුලට හොඳවයින් පාරක් වැදිලා තියෙන පාටයි. ඒක නිසා රෑට පාපුවරුවෙ යනවනම් පොඩ්ඩක් පරිස්සමින් හොඳෙ..

Double Headed Night Mailහරියටම පාන්දර 4ට කෝච්චිය පට්ටිපොලට ලඟා වුනා. පට්ටිපොල කියන්නෙ ලංකාවෙ වැඩිම උසකින් පිහිටල තියෙන දුම්රිය සථානය නිසා පට්ටිපොලට යනකන් කන්ද පෙට්ටි 12ක් දිග දුම්රියට ඇදගන්න පහසුවෙන්න ගම්පොලින් හයි කරනවා පිටිපස්සෙන් සහයක එන්ජිමක් (Banking Loco) (කඩුගන්නාව කන්ද ඇදගන්නත් රඹුක්කනදි එන්ජින් එකක් ගහනවා. ඒක කඩුගන්නාවෙදිම ගලවලා දානවා)  පට්ටිපොලින් එහාට කන්දක් නැති නිසාත්, පල්ලමේ බ්රේක් ගහගන්න පහසු වෙන්නත්, පට්ටිපොලින්, පිටිපස්සෙන් තල්ලු කරන් එන එන්ජිම ගලවලා ඉස්සරහට හයි කරනවා. එතනින් එහාට කෝච්චියට එන්ජින් දෙකයි (Double Headed). එන්ජින් මාරුව කරගෙන නයිට් මේල් එක බදුල්ල බලා පිටත් වුනා. අපි කස්ටිය සීතලේ ගැහි ගැහි පට්ටිපොල.. කෝච්චිය ගිහින් විනාඩි පහක් යන්නත් කලින් පට්ටිපොල ස්ටේෂන් එකේ දුම්රිය ස්ථානාධිපති කාර්යාලයෙ ලයිට් එක ඇරෙන්න ඉතුරු ඔක්කොම ලයිට් නිමුනා. පට්ට කළුවරේ කට්ටිය ඉන්නකොට බස්සා ටෝච් එකක් පත්තු කලා. හත් ඉලවුවේ බස්සොත් දැන් ටෝච් අරන් තමයි රෑට එළියට බහින්නෙ. කොහොම කොහොම හරි බස්සගෙ ටෝච් එළියෙන් අපි හොයාගත්තා මහතුන් මාමාගෙ විවේක කාමරය. පස්සෙ කට්ටියම ඒක ඇතුලට රිංගගෙන දොරත් වහගෙන හිටියා එළි වෙනකන්ම.
පට්ටිපොලින් කෙලින්ම පහළට බහින්න හිතාගෙන ආවත්, පට්ටිපොලටම ඇවිත් සමිට් ලෙවල් (Summit Level) එකට නොගිහින් හොඳ නැති නිසා උදේ පාන්දරින්ම පට්ටිපොලින් කිලෝමීටරයක් විතර බදුල්ල පැත්තට වෙන්න තියෙන සමිට් ලෙවල් බෝඩ් එක ගාවට ගියා කට්ටියම. මේ ඉන්නෙ ගිය නඩේ. පිලිවෙලින් මම, ඉන්දරේ, සෝරෝ, කෝච්චියා නොහොත් මිස්ටර් වික්ස්, බස්සා, ප්‍රභාත්, තූර්ය.

Summit Level

ලංකා දුම්රිය මාර්ග පද්ධතියෙ වගේම Broad Gauge (5′ 6″) දුම්රියක් ගමන් කරන ලෝකෙන්ම උසම තැන වෙන මෙතන මුහුදු මට්ටමේ ඉඳන් මීටර් 1898.1 (අඩි 6228) ක් උසින් තමයි පිහිටල තියෙන්නෙ. ඒ වගේම කොළඹ ඉඳන් මෙතනට දුර කිලෝ මීටර් 224ක්. ඒ විස්තර ටික තමයි මේ පැත්තෙන් තියෙන බෝඩ් එකේ ලියල‍ තියෙන්නෙ. කොහොම හරි උදේ පාන්දරින්ම “සුමිත්“ ලෙවල් අයියව බලපු අපි ආපහු පට්ටිපොල පැත්තට පල්ලම් බැස්සා, උදේ කෑම එහෙම අරගෙන නිල වශයෙන් ආපු ගමන පටන් ගන්න. ගමනේ “නිල“ කොටස දෙවන කොටසින්………….

ස්තූතිය : proof බලපු කෝච්චි අයියාට.

IMG_1828

ඉඟුරු-ඔය සිට ගල්බොඩ දක්වා.. | From InguruOya to Galboda..

9

කස්ටියටම 2012 අවුරුද්දට ආයුබෝවන්..!

2012 අවුරුද්ද පටන්ගන්න කලින් 2011 ඉවර කලේ රේල්-හයික් එකකින්. හයික් එක ගියෙ ඉඟුරු ඔය ඉඳන් ගල්බොඩට. ඉඟුරු ඔය කියන්නෙ ප්‍රධාන දුම්රිය මාර්ගයෙ නුවර ඉඳන් බදුල්ල පැත්තට නාවලපිටියට පස්සෙ දුම්රිය ස්ථානය. ගල්බොඩ කියන්නෙ ඉඟුරු ඔයට පස්සෙ ස්ටේෂන් එක. ස්ථානය පැහැදිලි මදි වගේ නම් මේ ලින්ක් එකෙන් ගිහින් සිතියමෙන් බලන්න පුළුවන්.

ගමන සංවිධානය a.k.a. නඩේ ගුරා තමයි හොරණ දුම්රිය ස්ථානාධිපති මිස්ටර් වික්ස්. (වික්ස් ටොපී හදපු කෙනා නෙමෙයි, එයා Vicks මෙයා Wickz). තව ගමනට සහභාගි උනේ ඉන්දරේ, සෝරෝ, කණියා, බනියා, ප්‍රියන්ත අයියා සහ මම යා. තව, එනවා කියලා කවුරුවත්ම පොලු තිබ්බේ නෑ.  ;) උදේ 5.55 කොටුවෙන් පිටත් වෙන “පොඩි මැණිකේ“ කෝච්චියෙන් තමයි කට්ටිය පිටත් උනේ. කට්ටියව තැන් තැන් වලින් එකතු කරගෙන කෝච්චිය ඉඟුරු ඔයට යනකොට වෙලාව උදේ 10.15යි. එතන ඉඳන් තමයි පාද යාත්‍රාව අරඹන්නෙ.

ඉඟුරු ඔය ඉඳන් ඉතින් අඟලක් අඟලක් ගානෙ ෆොටෝ ගහන ගමන් ඉබි ගමනින් තමයි ඉස්සරට ඇදුනෙ. ගමනෙ මුළු දුර කිලෝ මීටර් පහක් විතර. අපේ ඉලක්කය දවල් දෙකයි තිහට ගල්බොඩට එන, පහළට එන “පොඩි මැණිකෙ” අල්ලගන්න එක. ඉඟුරුඔය – ගල්බොඩ අතරෙ තියෙන වැදගත් තැන් තමයි අංක 12 සහ 13 බිංගෙවල් දෙක. ඒ, ඒ බිංගෙවල් දෙක පිහිටලා තියෙන්නෙ පාලම-බිංගෙය-නැවත පාලම-නැවත බිංගෙය ආකාරයට වීම. ඉඟුරුඔය සටේෂන් එකට පස්සෙ ඉස්ටේෂන් එක ගල්බොඩ උනත්, අතර මැද අප්‍රධාන දුම්රිය නැවතුම්පොළවල් දෙකක් තියෙනවා ඒ, ‘හඟරන්ඔය‘ සහ ‘පෙන්රෝස්‘. එහෙම දුම්රිය නැවතුම් පොළවල් හුඟක්ම දකින්න තියෙන්නෙ උඩරට දුම්රිය මාර්ගයෙ. ඒ, තේ වතු ඇතුලෙ හැදිච්ච පුංචි ගම්මාන  වල ඉන්න අයට යන්න එන්න වෙනත් පාරවල් නැති නිසා, අදාල තේ වතු යායෙ නමින් පුංචි ස්ටේෂන් හදල තියෙන නිසා. ප්‍රධාන මාර්ගයෙ යන ප්‍රධාන කෝච්චි එකක්වත් මේ පුංචි නැවතුම්පොළවල් වල නවත්තන්නෙ නෑ. මේවගෙ නවත්තන්නෙ පොඩි දුරවල් දුවන කෝච්චි. (උදා : නාවලපිටිය – හැටන් දුවන කෝච්චිය).

කොහොම කොහොම හරි අප්‍රධාන දුම්රිය නැවතුම් පොළවල් පහු කරගෙන අපි හත් දෙනාගෙ කෝච්චිය හෙමින් හෙමින් අංක 12 බිංගෙ පහු කලා, පහු කරලා ගිහින් අංක 13 බිංගෙය ලඟ නැවතුනේ කොටුව-බණ්ඩාරවෙල නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය තෙවැනි ඇසට අසුකරගන්න. මේ අංක 12 සහ 13 බිංගෙවල් දෙකම එච්චි දිගක් නෑ. මීටර් 50ක්-60ක් විතර ඇති එකක්. කට්ටිය දැන් ස්ථානගත වෙලා ඉන්නවා 12ට විතර ගල්බොඩ පහු කරන ‘බණ්ඩාරවෙල ඉන්ටර්සිටිය‘ එනකන්. වැඩි වෙලා පරක්කු වුනේ නෑ. පැයක් විතර යන්න ඇති, ඔන්න දවල් 1ට විතර එනවා කෝච්චිය. ඒ හරියෙ කෝච්චිය (කඳු වටේ කැරකි කැරකි එන නිසා වෙන්න ඇති) කිලෝ මීටරයක විතර දුර ඉඳන් එනවා ඇහෙනවා. ඔන්න අංක 12 බිංගෙන් මතු උනා ලොවෙත් නැති කෝච්චියක්, පිටිපස්සෙන් පෙට්ටි දෙකකුත් ඇදගෙන. බලනකොට ඉන්ටසිටිය නෙමෙයි, නාවලපිටිය සහ හැටන් අතරෙ දුවන කෝච්චිය. මොනවා කරන්නද, ඉන්ටර්සිටිය කොයිවෙලේ හරි පාත්වෙයි කියලා බලාගෙන බලාගෙන ඉන්නවා කට්ටිය. කණියා ඒ අතරෙ කෝච්චියාට පින් දෙනවා, කණියා ගමනට සහභාගිවෙන්න අවස්ථාව දුන්න එකට, ඉස්සරහටත් මේ වගේ ගමන් වලට අනිවාර්යයෙන්ම සහභාගි වෙනවා කියලත් කිවුවා.

වෙලාව දවල් 1.45ට විතර ඇති, ඔන්න යන්තං අපි බලන් හිටපු කෝච්චිය එනවා, යාන්තම් පැය දෙකක් විතර පරක්කු ඇති. ඔන්න නියම “නගරාන්තර සීඝ්‍රගාමී“ කෝච්චි. මේයා එනකන් තමයි කට්ටිය පැය දෙකක් විතර ගස් ගල් උඩ නැගගෙන බලන් හිටියෙ.

කොහොම හරි බලන් හිටපු වැඩේ කරගත්තා, දැන් තියෙන්නෙ අංක 13 බිංගෙය පහු කරලා ගල්බොඩ දුම්රිය ස්ථානයට පැනගන්න එක. ඊට කලින් කස්ටිය ෆොටෝ එකක් ගන්න කියලා ප්‍රියන්ත අයියගෙ ත්‍රිපාදෙ (Tripod) එක අටවලා, කැමරාවත් අටවලා ලෑස්ති වෙනකොටම ඔන්න තවත් කෝච්චියක සද්දයක් ඇහෙනවා. බලනකොට අපි ඉස්සෙල්ලම බණ්ඩාරවෙල ඉන්ටර්සිටිය කියලා රැවටුන නාවලපිටිය-හැටන් කෝච්චිය හැටන් ගිහින්, හරවගෙනත් එනවා. :D

කොහොම හරි ඒකට යන්න ඉඩ දීලා කස්ටියගේ සමූහ ඡායාරූපයක් ගත්තා, මේං ඉන්නවා ගිය නඩේ..

© Priyantha | Edit : Zoro

සමූහ ඡායාරූපය අරන් අංක 13 බිංගෙන් එහා පැත්තට පැනගන්න කියලා හදනකොටම මෙන්න තවත් කෝච්චියක්! එන්න ගත්තහමත් එපා කියනකන්ම කෝච්චි.. ඒ සැරේ ආවෙ කොටුවෙන් 9.45ට බදුල්ලට පිටත්වෙන “උඩරට මැණිකෙ“. ලංකාවෙ දැනට තියෙන පරණම එන්ජිමක් තමයි ‘උඩරට මැණිකෙ‘ව ඇදගෙන ගියෙ, ඒ අංක 626 දරණ M2c වර්ගයෙ එන්ජිමක්. ඒකෙ තියෙන විශේෂත්වය, දැනට උඩරට මාර්ගයෙ දුවන එකම M2 එන්ජිම ඒක වීම ලු.

ණ්ඩාරවෙල නගරාන්තර දුම්රියට ඉඩදෙන්න තමයි මේ හැටන්-නාවලපිටිය කෝච්චියයි, උඩරට මැණිකෙවයි නවත්තගෙන ඉඳල තියෙන්නෙ. කොහොම හරි කෝච්චි නිසා ට්‍රැෆික් එකට අහුවෙලා  හිටපු අපි අන්තිමේදි යන්තම් අංක 13 බිංගෙය පහු කරගත්තා. බිංගෙය පහු කරපු ගමන්ම ගල්බොඩ, නොහොත් අපේ ගමනාන්තය. දවල් 2.15ට විතර ගල්බොඩ ස්ටේසමට ගිය අපි ඉස්ටේසම ගාව කඩේකින් තේ එකක් එහෙම බීලා, ආපහු ගෙවල් බලා පිටත් වෙන්න දවල් 2.40 (එනකොට 3ට විතර) කෝච්චියට ගොඩවුනා.

 

සම්පත් නෙට් වෙනුවට “සම්පත් විශ්ව” | SampathVishwa instead of SampathNet

3

සම්පත් නෙට්, සම්පත් බැංකුවෙ අන්තර්ජාල බැංකු සේවාව දැන් සෑහෙන කාලෙක ඉඳන් ක්‍රියාත්මක වෙන සේවාවක්. ටිකක් විතර පරණ පාට UI (User Interface) එකක් සහ එක විට ටැබ් දෙකක වැඩ කටයුතු කරන්න බැරි අවුල තදටම තිබුන පද්ධතියක් තමයි සම්පත් නෙට්. එක ටැබ් එකක එක පිටුවක් Open කරලා, තවත් පිටුවත් තව ටැබ් එකක් open කලොත් ටැබ් දෙකෙන් එකක Session එක destroy වෙලා.. :D

Sampath Vishwa

අලුතින් හඳුන්වල දීල තියෙන “සම්පත් විශ්ව“ එකේ අර අවුල් නම් නෑ. UI එකත් ලස්සනයි, පහසුයි. බිල් ගෙවන පිටුව ගානට කැටගරි අනුව වර්ග කරලා තියෙන්නෙ,
Sampath Vishwa Payments Pageතවත් දෙයක්, සම්පත් නෙට් ගිණුමක් පවත්වගෙන යනවට සම්පත් බැංකුව රු700 ගාණක් අය කලා, සම්පත් විශ්ව ගිණුමකට වාර්ෂික ගාස්තුව රු500ක් කියල තමයි සම්පත් වෙබ් අඩවියෙ කියල තියෙන්නෙ, වැදගත්ම අංගය තමයි ක්‍රෙඩිට් කාඩ් විස්තර ඉතා පැහැදිලිව හා විස්තරාත්මකව නව අඩවියෙ දක්වලා තියෙන එක, අපි නම් ක්‍රෙඩිට් කාඩ් පාවිච්චියක් නෑ (ඇත්තම කියනව නම් කාඩ් එකක් ගන්න බැංකුවට පෙන්නන්න වත්කමක් නෑ :D ), අපි පාවිච්චි කරන්නෙ ඉතින් වෙබ් කාඩ් තමයි.. (ඔන්න වෙබ් කාඩ් පාවිච්චි කරන අයට බලාගන්න මාගල පිටින්ම දැම්මා ක්‍රෙඩිට් කාඩ් විස්තර පිටුව..)
Sampath Vishwa Credit Cards

ගෙවපු මුදල රුපියල් වලින්ම සහ ඩොලර් (හෝ වෙනත් ගෙවන ලද මුදල් ඒකකයෙන්) යන දෙකෙන්ම දක්වලා තියෙන එක ලොකු පහසුවක් (මොකද, කාට ගෙවුවද කියල මතක නෑ නෙ, කීයක් ගෙවුවද කියල විතරනෙ මතක)

 

සම්පත් නෙට් වල තිබුන අවුලක් සම්පත් විශ්ව එකෙත් එහෙම්මම තියෙනවා, ඒ තමයි Password එක අමතක උනොත් බඩු පැකට් වෙන එක.. ඒ කියන්නෙ, Password Reset Option එකක් මේකෙත් නෑ, Password Reset කරගන්න නම් බැංකුවට ගිහින් ලියුමක් දෙන්න වෙනවා Account Lock එක ඇරලා දෙන්න කියල හරි, අලුතින් password එකක් දෙන්න කියල හරි.. බැංකුවෙන් ලියුම Card Center එකට යවලා, ඒකෙන් කරන හරිය කරලා, ආපහු බැංකුවට අලුත් Password එක එවලා, බැංකුවෙන් අපිට ලියුමක් එවලා අපි ගිහින් Password එක ගන්නකොට කොහොමත් සති දෙක-තුනක් ගිහින්..

Online Password Reset කරගන්න පහසුතමක් නැති තරමට හොඳයි හැබැයි සල්ලි එක්ක ගණුදෙණු කරනකොට. ඒත් ලඟම සම්පත් බැංකු ශාඛාවට ගිහින් password reset කරගන්න පුළුවන් උනා නම් ඒ හොඳටම ඇති..

කොහොඹ උනත් සම්පත් නෙට් ගිණුමක් තියෙන අය අදම Migrate වෙන්න, වෙබ් කාඩ් පාවිච්චර කරන අය අලුත් ගිණුමත් පටන් ගත්තට පාඩු නෑ. වැඩි විස්තර සම්පත් බැංකු වෙබ් අඩවියෙන් : Sampath Vishwa ..

Go to Top