කස්ටියටම 2012 අවුරුද්දට ආයුබෝවන්..!

2012 අවුරුද්ද පටන්ගන්න කලින් 2011 ඉවර කලේ රේල්-හයික් එකකින්. හයික් එක ගියෙ ඉඟුරු ඔය ඉඳන් ගල්බොඩට. ඉඟුරු ඔය කියන්නෙ ප්‍රධාන දුම්රිය මාර්ගයෙ නුවර ඉඳන් බදුල්ල පැත්තට නාවලපිටියට පස්සෙ දුම්රිය ස්ථානය. ගල්බොඩ කියන්නෙ ඉඟුරු ඔයට පස්සෙ ස්ටේෂන් එක. ස්ථානය පැහැදිලි මදි වගේ නම් මේ ලින්ක් එකෙන් ගිහින් සිතියමෙන් බලන්න පුළුවන්.

ගමන සංවිධානය a.k.a. නඩේ ගුරා තමයි හොරණ දුම්රිය ස්ථානාධිපති මිස්ටර් වික්ස්. (වික්ස් ටොපී හදපු කෙනා නෙමෙයි, එයා Vicks මෙයා Wickz). තව ගමනට සහභාගි උනේ ඉන්දරේ, සෝරෝ, කණියා, බනියා, ප්‍රියන්ත අයියා සහ මම යා. තව, එනවා කියලා කවුරුවත්ම පොලු තිබ්බේ නෑ.  ;) උදේ 5.55 කොටුවෙන් පිටත් වෙන “පොඩි මැණිකේ“ කෝච්චියෙන් තමයි කට්ටිය පිටත් උනේ. කට්ටියව තැන් තැන් වලින් එකතු කරගෙන කෝච්චිය ඉඟුරු ඔයට යනකොට වෙලාව උදේ 10.15යි. එතන ඉඳන් තමයි පාද යාත්‍රාව අරඹන්නෙ.

ඉඟුරු ඔය ඉඳන් ඉතින් අඟලක් අඟලක් ගානෙ ෆොටෝ ගහන ගමන් ඉබි ගමනින් තමයි ඉස්සරට ඇදුනෙ. ගමනෙ මුළු දුර කිලෝ මීටර් පහක් විතර. අපේ ඉලක්කය දවල් දෙකයි තිහට ගල්බොඩට එන, පහළට එන “පොඩි මැණිකෙ” අල්ලගන්න එක. ඉඟුරුඔය – ගල්බොඩ අතරෙ තියෙන වැදගත් තැන් තමයි අංක 12 සහ 13 බිංගෙවල් දෙක. ඒ, ඒ බිංගෙවල් දෙක පිහිටලා තියෙන්නෙ පාලම-බිංගෙය-නැවත පාලම-නැවත බිංගෙය ආකාරයට වීම. ඉඟුරුඔය සටේෂන් එකට පස්සෙ ඉස්ටේෂන් එක ගල්බොඩ උනත්, අතර මැද අප්‍රධාන දුම්රිය නැවතුම්පොළවල් දෙකක් තියෙනවා ඒ, ‘හඟරන්ඔය‘ සහ ‘පෙන්රෝස්‘. එහෙම දුම්රිය නැවතුම් පොළවල් හුඟක්ම දකින්න තියෙන්නෙ උඩරට දුම්රිය මාර්ගයෙ. ඒ, තේ වතු ඇතුලෙ හැදිච්ච පුංචි ගම්මාන  වල ඉන්න අයට යන්න එන්න වෙනත් පාරවල් නැති නිසා, අදාල තේ වතු යායෙ නමින් පුංචි ස්ටේෂන් හදල තියෙන නිසා. ප්‍රධාන මාර්ගයෙ යන ප්‍රධාන කෝච්චි එකක්වත් මේ පුංචි නැවතුම්පොළවල් වල නවත්තන්නෙ නෑ. මේවගෙ නවත්තන්නෙ පොඩි දුරවල් දුවන කෝච්චි. (උදා : නාවලපිටිය – හැටන් දුවන කෝච්චිය).

කොහොම කොහොම හරි අප්‍රධාන දුම්රිය නැවතුම් පොළවල් පහු කරගෙන අපි හත් දෙනාගෙ කෝච්චිය හෙමින් හෙමින් අංක 12 බිංගෙ පහු කලා, පහු කරලා ගිහින් අංක 13 බිංගෙය ලඟ නැවතුනේ කොටුව-බණ්ඩාරවෙල නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය තෙවැනි ඇසට අසුකරගන්න. මේ අංක 12 සහ 13 බිංගෙවල් දෙකම එච්චි දිගක් නෑ. මීටර් 50ක්-60ක් විතර ඇති එකක්. කට්ටිය දැන් ස්ථානගත වෙලා ඉන්නවා 12ට විතර ගල්බොඩ පහු කරන ‘බණ්ඩාරවෙල ඉන්ටර්සිටිය‘ එනකන්. වැඩි වෙලා පරක්කු වුනේ නෑ. පැයක් විතර යන්න ඇති, ඔන්න දවල් 1ට විතර එනවා කෝච්චිය. ඒ හරියෙ කෝච්චිය (කඳු වටේ කැරකි කැරකි එන නිසා වෙන්න ඇති) කිලෝ මීටරයක විතර දුර ඉඳන් එනවා ඇහෙනවා. ඔන්න අංක 12 බිංගෙන් මතු උනා ලොවෙත් නැති කෝච්චියක්, පිටිපස්සෙන් පෙට්ටි දෙකකුත් ඇදගෙන. බලනකොට ඉන්ටසිටිය නෙමෙයි, නාවලපිටිය සහ හැටන් අතරෙ දුවන කෝච්චිය. මොනවා කරන්නද, ඉන්ටර්සිටිය කොයිවෙලේ හරි පාත්වෙයි කියලා බලාගෙන බලාගෙන ඉන්නවා කට්ටිය. කණියා ඒ අතරෙ කෝච්චියාට පින් දෙනවා, කණියා ගමනට සහභාගිවෙන්න අවස්ථාව දුන්න එකට, ඉස්සරහටත් මේ වගේ ගමන් වලට අනිවාර්යයෙන්ම සහභාගි වෙනවා කියලත් කිවුවා.

වෙලාව දවල් 1.45ට විතර ඇති, ඔන්න යන්තං අපි බලන් හිටපු කෝච්චිය එනවා, යාන්තම් පැය දෙකක් විතර පරක්කු ඇති. ඔන්න නියම “නගරාන්තර සීඝ්‍රගාමී“ කෝච්චි. මේයා එනකන් තමයි කට්ටිය පැය දෙකක් විතර ගස් ගල් උඩ නැගගෙන බලන් හිටියෙ.

කොහොම හරි බලන් හිටපු වැඩේ කරගත්තා, දැන් තියෙන්නෙ අංක 13 බිංගෙය පහු කරලා ගල්බොඩ දුම්රිය ස්ථානයට පැනගන්න එක. ඊට කලින් කස්ටිය ෆොටෝ එකක් ගන්න කියලා ප්‍රියන්ත අයියගෙ ත්‍රිපාදෙ (Tripod) එක අටවලා, කැමරාවත් අටවලා ලෑස්ති වෙනකොටම ඔන්න තවත් කෝච්චියක සද්දයක් ඇහෙනවා. බලනකොට අපි ඉස්සෙල්ලම බණ්ඩාරවෙල ඉන්ටර්සිටිය කියලා රැවටුන නාවලපිටිය-හැටන් කෝච්චිය හැටන් ගිහින්, හරවගෙනත් එනවා. :D

කොහොම හරි ඒකට යන්න ඉඩ දීලා කස්ටියගේ සමූහ ඡායාරූපයක් ගත්තා, මේං ඉන්නවා ගිය නඩේ..

© Priyantha | Edit : Zoro

සමූහ ඡායාරූපය අරන් අංක 13 බිංගෙන් එහා පැත්තට පැනගන්න කියලා හදනකොටම මෙන්න තවත් කෝච්චියක්! එන්න ගත්තහමත් එපා කියනකන්ම කෝච්චි.. ඒ සැරේ ආවෙ කොටුවෙන් 9.45ට බදුල්ලට පිටත්වෙන “උඩරට මැණිකෙ“. ලංකාවෙ දැනට තියෙන පරණම එන්ජිමක් තමයි ‘උඩරට මැණිකෙ‘ව ඇදගෙන ගියෙ, ඒ අංක 626 දරණ M2c වර්ගයෙ එන්ජිමක්. ඒකෙ තියෙන විශේෂත්වය, දැනට උඩරට මාර්ගයෙ දුවන එකම M2 එන්ජිම ඒක වීම ලු.

ණ්ඩාරවෙල නගරාන්තර දුම්රියට ඉඩදෙන්න තමයි මේ හැටන්-නාවලපිටිය කෝච්චියයි, උඩරට මැණිකෙවයි නවත්තගෙන ඉඳල තියෙන්නෙ. කොහොම හරි කෝච්චි නිසා ට්‍රැෆික් එකට අහුවෙලා  හිටපු අපි අන්තිමේදි යන්තම් අංක 13 බිංගෙය පහු කරගත්තා. බිංගෙය පහු කරපු ගමන්ම ගල්බොඩ, නොහොත් අපේ ගමනාන්තය. දවල් 2.15ට විතර ගල්බොඩ ස්ටේසමට ගිය අපි ඉස්ටේසම ගාව කඩේකින් තේ එකක් එහෙම බීලා, ආපහු ගෙවල් බලා පිටත් වෙන්න දවල් 2.40 (එනකොට 3ට විතර) කෝච්චියට ගොඩවුනා.