PS: මෙය මම විසින්ම තෙලැස්ට්‍රෝවට ලියන ලද්දක් බව කරුණාවෙන් සලකන්න
මේක අපි ඉස්කෝලෙ 11 වසරෙ (2005) ඉන්නකාලෙ වෙච්ච සීන් එකක්. සිංහල පොතේ හරි, සිංහල සාහිත්‍ය පොතේ හරි (කොයි පොතේද කියල මතක නෑ. දෙකම කලේ එකම සර් කෙනෙක්) තිබුනා “නාලාගිරි දමනය” කියලා පාඩමක් (බුද්ධාගම පොතේ තියෙන්න ඕනෙ එකක් තමයි. ඒ උනත් තිබුනෙ සිංහල පොතේ). ඒ කාලෙ ඔය ඇගයීම් බර ගානක් කරන්න තියෙනවනෙ, පොත් හදන්න, නාට්‍ය රඟපාන්න, ඊ.ටී.සී.. අපිට ඔන්න ඇගයීමක් ආවා, නාලාගිරි දමනය පාඩම අපි රඟපාන්න ඕනෙ. තමන් කැමති කොටසක් කරන්න පුළුවන්. විනාඩි පහක්-දහයක් විතර තමයි එක කණ්ඩායමකට ලැබෙන්නෙ. හැබැයි එකම කොටස ආපහු කරන්න බෑ. මුළු පන්තියම කණ්ඩායම් වශයෙන් ඔන්න කතාවෙ කෑලි කෑලි කලා කියමුකො. අන්තිම පේලිය නියෝජනය කිරීමේ (අන්තිම පේලියෙ හිටියත් හරි අවාසියකට කියල උනේ මෙච්චරද මංදා) ප්‍රීතිය නිමිත්තෙන් අපේ සෙට් එකට කරන්න පාඩමේ කොටසක් තියා එක වාක්‍යයක් වත් ඉතුරු වෙලා නෑ.
කට්ටිය කතා වෙනවා අපි මොකක්ද කරන පාට් එක කියලා. ඔන්න එතකොට එකෙක් පට්ට යෝජනාවත් ගෙනාවා. අ.පේ. කස්ටිය එකපයින් අනුමත කලා යෝජනාව. දැන් අපේ කස්ටියගෙ වාරෙත් ආවා. කස්ටිය රංග භුමියට සම්ප්‍රාප්ත උනා. පන්තියම වට වෙලා බලන් ඉන්නවා මුං මොකක්ද කරන්න යන පාට් එක කියලා.
අපේ ටීම් එකේ ලීඩර් තමයි ඉස්සෙල්ලාම එන්ටර උනේ. ඌ කස්ටියව ගානට හදනවා.
ලීඩර් : (පන්තියෙ අනිත් උංට) හා හා.. කට්ටියම පස්සට වෙන්න. මේ වගේ ෂෝ එකක් නිකං බලන්න දෙන්නෙ නෑ. ඉස්සරහ ඉඳන් බලනව නම් ඩබල් චාජ් කරනවා.
ටීම් එකේ එකෙක් – “අනේ අයියෙ බැරිද පොඩි ඩිස්කවුන්ට් එකක් දෙන්න.”
ටීම් එකේ තව එකෙක් – “කකුල කකුල.. රිදෙනව කකුල.. පාගන්නෙ නැතුව අහකට වෙනවලා.”
(මෙය සූර පප්පා කාටූනයෙන් උපුටාගෙන එම නාට්‍ය සඳහා භාවිතා කරන ලද්දක් බව කරුණාවෙන් සලකන්න)
((විනාඩි පහක් විතර ඕකම කර කර ඉන්නවා අපේ ටීම් එකේ ලීඩර්))
සර් – කෝ කෝ දැන් ඇති කට්ටියව හැදුවා. ඉක්මනට පටන් ගන්න.
ලීඩර් – ආ.. හරි සර්.
(ආපහු මූ කට්ටියව හදනවා. එකෙක්ව ඉස්සරහට කරනවා, තව එකෙක්ව පස්සට කරනවා. ඊ.ටී.සී.)
සර් - “පටන් ගන්නෙ නැද්ද. දැන් ඇති ඔය.. “
මේ සැරේ නම් යක්සයා ආරූඩ වෙච්ච මූඩ් එකක් සර්ගෙ තිබුනෙ. ඒත් ඉතින් අපි තෝරගත්ත කොටසෙ හැටියට නොකරත් බෑ. ලීඩර් කාරයා වෙන දෙයක් වෙච්ච දෙන් කියලා හිතහදාගෙන
“සර් අපි පටන් අරන් තමයි තියෙන්නෙ.”
සර්ට එකසිය විස්සට මල දැන් නම්. “පටං අරන් තියෙන්නෙ? මොකක්ද තමුන් රඟපාන්න තෝරගත්ත කොටස?”
(මුළු පන්තියම මීයට පිම්බා වගේ බලං ඉන්නවා. සර්ට මල පැනලා හින්දා එකෙක්වත් හ්ම් සද්දයක් නෑ)
ලීඩර් – “අපි තෝරගත්තෙ සර්, නාලාගිරි ඇතා එනකං මිනිස්සු බලං ඉන්න සීන් එක”..
සුනාමියක් ලඟම එනව කියල තේරුන හින්දා අපි කස්ටියම අනිත් උං අස්සෙන් රිංගල ගිහින් පිටිපස්සෙන් හිටගත්තා.
සර්ගෙ මලේ උපරිමයට ලඟාවෙලා සර් බනිනවා. “(^*%&$%*((_(*&($#%*&)(_)(_)&(&^*^%”
ටික වෙලාවක් ඉඳලා ආපහු බනිනවා “පිටරටින් එක එක කුණුකන්දල් උස්සං ඇවිත් හඬකවලා ලමයිංගෙ ඔලු නරක් කරන ඉන්දියන් චැනල් බලන එක කට්ටියම වහාම නවත්තන්න ඕනෙ” (ඒ බනින්නෙ සූර පප්පා එකේ පාට් එකට) ඊ.ටී.සී.
තත්වය සන්සුන් උනාට පස්සෙ කට්ටියම සාමයෙන් පන්තියෙන් ගිහින් වාඩි උනා. පස්සෙ අපේ කාණ්ඩෙට වෙනම ඉස්පෙසල් දේශනයක් එහෙමත් හම්බ උනා. සර් අපිත් එක්ක ජම්මාන්තර වලියක් නැති නිසා තත්වය ගොඩින් බේරුනා. දැන් ඒ සර් ලු අපේ ඉස්කෝලෙ “විනය පාලක”. කොහොම උනත් අපේ කවුරුත් අදටත් දනනෙ නෑ ඒ ඇගයීමට අපිට ලකුණු කීයක් හම්බ උනාද කියලා.
නිමි
ප.ලි. – අපිට බැන්නට සර් ත් සූර පප්පා බලනවා ඇති. නැත්නම් කොහොමද එකම එක වාක්‍යකින් සූර පප්පා එකෙන් උස්සපු පාට් එක අල්ලගත්තෙ.



